සති සම්බොජ්ඣංගය…
සති කියල කිව්වේ සතර සතිපට්ඨානයට. සතර සතිට්ඨානය චතුරාර්ය සත්‍යය අවබෝධයේ අංගයක් විදිහට සකස් වෙන කොට ඒක සතිසම්බොජ්ඣංගය.
ධම්මවිචය සම්බොජ්ඣංගය…
ඊළඟට ධම්මවිචය සම්බොජ්ඣංගය. ධම්මවිචය කියල කිව්වෙ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම කරුණු සම්බන්ධයෙන් අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන්, දුක් දේ දුක් වශයෙන්, අනාත්ම දේ අනාත්ම වශයෙන්, හේතු ඵල වශයෙන්, හේතු නැතිවීමෙන් ඵල නැතිවී යන ධර්මතාව මේ ඔක්කොම නුවණින් විමස විමස බලනකොට, ඔබ තුළ ඇතිවෙනවා ධම්මවිචය. එතකොට මේ ධම්මවිචය ඇතිවෙන්නේ චතුරාර්ය සත්‍යය අවබෝධය ඉලක්ක කරගෙනයි. චතුරාර්ය සත්‍යය අවබෝධයට උපකාර වශයෙන් ධම්මවිචය සම්බොජ්ඣංගය ඔබ තුළ වැඩෙනව.
බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේදී විස්තර කරන්නේ, (සන්තං වා අජ්ඣත්තං ධම්මවිචය සම්බොජ්ඣංගං අත්ථි මේ අජ්ඣත්තං ධම්මවිචය සම්බොජ්ඣංගෝති පජානාති) තමන් තුළ මේ චතුරාර්ය සත්‍යය අවබෝධයට අංගයක් වශයෙන් ධම්මවිචය සම්බොජ්ඣංගය වැඩෙනවා කියල දන්නව නම්, තමන් තුළ ධම්මවිචය සම්බොජ්ඣංගය තියෙනවා කියල දැනගන්නවා. එතකොට බලන්න සිහිය කියන එක කොච්චර සියුම් විදිහට දියුණු කරන්නට පුළුවන් එකක්ද?
තමන් තුළ චතුරාර්ය සත්‍යය ධර්මයේ අවබෝධයක් විදිහට ධම්මවිචය සම්බොජ්ඣංගය වැඩිල නැත්නම්, ඒකත් දන්නව. එහෙනම් එයා කරන්නේ තවදුරටත් ධම්මවිචය සම්බොජ්ඣංගය වැඞීම පිණිස නුවණින් විමසනවා. චතුරාර්ය සත්‍යය අවබෝධය ඉලක්ක කරගෙන.
විරිය සම්බොජ්ඣංගය…
ඊළඟට විරිය සම්බොජ්ඣංගය. විරිය සම්බොජ්ඣංගය කියල කියන්නේ වීරිය. වීරිය තමයි උපන්නා වූ අකුසල් ප්රහාණය කරන්න තියෙන වීරිය. නූපන් අකුසල් නූපදවීමට තියෙන වීරිය. උපන් අකුසල් තමයි ආසාව, තරහ, ඉරිසියාව, පළිගැනීම, එකටෙක කිරීම, බද්ධ වෛරය, කළකෝලාහල කිරීම, හිතුවක්කාරකම. මේ සියල්ලම අකුසල්. මේ උපන්නා වූ අකුසල් ප්රහාණය කරන්න වීරිය තියෙනව. ඒ වගේම මේ අකුසල් අලූතින් හටගන්න දෙන්නෙත් නෑ. ඉපදිච්ච අකුසල් ප්රහාණය කරන්නට කල්පනා කරනව.
ඊළඟට නූපන් කුසල් උපදවා ගැනීම. දැන් සීලය නූපන් කුසලයක් නම් ඒක හොඳට දියුණු කරගන්න ඕනෙ. ඊළඟට සමාධිය ඇතිවෙලා නෑ. ඒ කියන්නේ නූපන් කුසලයක්. සමාධිය දියුණු කරගන්නට ඕනෙ. ප්‍රඥාව ඇතිවෙලා නෑ. අන්න කුසල් දියුණු වෙලා නෑ. එහෙනම් ප්‍රඥාව ඇති කරගන්න එයා කල්පනා කරල දියුණු කරගන්නව. අලෝභය, අද්වේෂය, අමෝහය ඇතිවෙලා නැත්නම්, ඒවා ඇතිකරගන්න මහන්සි ගන්නව. නුවණින් කල්පනා කරනවා. එතකොට නූපන් කුසල් උපදවා ගන්නට වීරිය කරනවා.
ඊළඟට උපන් කුසල් වැඩිදියුණු කරන්නට වීරිය කරනවා. සීලසම්පන්න නම් එයා සීලය කඩාගන්න නෙවෙයි මහන්සි වෙන්නෙ. සීලය රැුකගෙන අවබෝධය පිණිස සකස් කරගන්න. සමාධිය රැකගෙන අවබෝධයට සකස් කරන්න. ප්‍රඥාවත් එහෙමයි. මේ විදිහට උපන් කුසල් දියුණු කරගන්න මහන්සි ගන්නව භාවනා වශයෙන්. ඉලක්කය තමයි චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීම. අන්න එතකොට එයාට ආර්ය සත්‍යය අවබෝධයට උපකාරී අංගයක් හැටියට වීරිය දියුණු වෙනව.
පීති සම්බොජ්ඣංගය…
මෙහෙම වීරිය දියුණු වෙද්දි ඒ කිව්වෙ අකුසල් ප්රහාණය වෙද්දි, කුසල් දියුණු වෙද්දි, මෙයාට චිත්ත සමාධියක් ඇතිවෙනවා, හිතට මහා බලවත් ප්‍රීතියක් හටගන්නවා. අනේ මා තුළ අකුසල් ප්රහාණය වෙවී යනව නේද කියල සතුටක් ඇතිවෙනවා. මා තුළ කුසල ධර්මයන් දියුණු වෙවී යනව නේද කියල සතුටක් ඇතිවෙනවා. ඒක ඇතිවෙන්නෙ තමන්ගේ ගුණධර්ම මතමයි.
සාමාන්‍යයෙන් ධර්මයේ හැසිරෙන කෙනෙක් පුරුදු කළ යුත්තේ නිහතමානීකමයි. විශේෂයෙන්ම මේ ධර්ම මාර්ගය දියුණු වෙන්න කරුණු දෙකක් ප්‍රධාන වෙනවා. පළවෙනි එක තමයි නිහතමානීකම. දෙවෙනි එක තමයි කැපවීම. ධර්මයේ හැසිරීමේදී කවදාවත් අත්තුක්කංසන පරවම්භනයේ යෙදෙන්න එපා. එතකොට තමන්මයි මේ ධර්ම මාර්ගයේ බිඳ වැටෙන්නෙ. අත්තුක්කංසනය කියන්නේ තමා උසස් කොට සැලකීමත්, පරවම්භනය කියන්නේ අනුන් ගරහා කොට සැලකීමත්. ඒක නෙවෙයි අප කළ යුත්තේ, තමන් නිහතමානීව මෙවැනි ධර්මයක් පුරුදු කරන්න පුළුවන් කියලා ප්‍රකාශ කරලා, ඒ ධර්මය තුළට නිහතමානීව පිවිසීම.
මේ තුළ එයා ලොකු ප්‍රීතියක් ඇති කරගන්නවා. මේ ප්‍රීතිය ඇතිවෙන්නෙ කුසල් දියුණුවීමත්, අකුසල් දුරුවීමත් නිසා. එතකොට එයා ප්‍රීතිය තුළ අවබෝධය කරා යනවා. එතකොට චතුරාර්ය සත්‍යය අවබෝධයේ අංගයක් හැටියට ප්‍රීතිය සකස් වෙනවා.
පස්සද්ධි සම්බොජ්ඣංගය…
මේ ප්‍රීතිය වැඩෙන කොට කායිකව සැහැල්ලුවක් ඇතිවෙනවා. මානසිකව ලොකු සැහැල්ලුවක් සංසිඳීමක් ඇතිවෙනවා. එතකොට එයාට කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි තියෙනවා. පස්සද්ධි කියන්නෙ සැහැල්ලු බව. එතකොට කායිකව සැහැල්ලුවක් තියෙනවා, මානසිකවත් සැහැල්ලුවක් තියෙනවා. හේතුව තමයි අකුසල් ප්රහාණය වෙලා, කුසල් දියුණු වෙලා ඇතිවෙච්ච ප්‍රීතියකින් යුතුවීම. එතකොට චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධයේ අංගයක් විදිහට මේ සැහැල්ලූ බව මෙයා දියුණු කරනවා. තමා තුළ සැහැල්ලු බව චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධයේ අංගයක් හැටියට තියෙනවා නම්, ඒ බව දැනගන්නවා. නැත්නම් ඒ බවත් දැනගන්නවා.
සමාධි සම්බොජ්ඣංගය…
ඊළඟට චතුරාර්ය සත්‍යය අවබෝධයේ අංගයක් හැටියට ඒක දියුණු කරනවා. සමාධියක් ඇති කරගැනීම බොජ්ඣංග ධර්මයක්. ඔබ දන්නවා සමාධිය නැති රහතන් වහන්සේලා බිහිවෙන්න බැහැ. සමාධිය නැති අනාගාමී උතුමන් බිහි වෙන්න බැහැ. සමාධිය නැති සකදාගාමී අය හෝ සෝතාපන්න අය හෝ බිහිවෙන්න බැහැ. මොකද හේතුව, සමාධිය ටික ටික නමුත් සෝතාපන්න අයටත් තියෙනවා, සකදාගාමී අයටත් තියෙනවා. අනාගාමී වෙනකොට සමාධිය හතරවෙනි ධ්‍යානය දක්වා දියුණු වෙන්න ඕනෙ සාමාන්‍යයෙන් පොදු වශයෙන්. ඊළඟට රහතන් වහන්සේ කියන්නේ සමාධිය සම්පූර්ණ වෙච්ච කෙනෙක්.
එතකොට ඒ සමාධිය භාවනාවට සම්බන්ධ අංගයක්. චතුරාර්ය සත්‍යය අවබෝධයට උපකාරී වෙන අංගයක්. සමාධිය කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය. 1 වෙනි ධ්‍යානය, 2 වෙනි ධ්‍යානය, 3 වෙනි ධ්‍යානය, 4 වෙනි ධ්‍යානය. ඒ ඔක්කොම චතුරාර්ය සත්‍යය අවබෝධයට උපකාරී වන අංගයි. චතුරාර්ය සත්‍යය අවබෝධයේ අංගයක් විදිහට සමාධිය තියෙන කොට, ඒ කෙනා දන්නව මේ සමාධිය තියෙන්නේ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වීමට උපකාරී අංගයක් හැටියටයි. ඒ වගේම එයා දන්නවා මේ සමාධිය එයා තුළ නැත්නම්, මා තුළ චතුරාර්ය සත්‍යය අවබෝධය අනුව සකස්වෙච්ච සමාධියක් නෑ කියල. අන්න ඒ කෙනා නැති සමාධිය දියුණු කරගන්න කල්පනා කරනවා. මහන්සි වෙනවා. ආර්ය සත්‍යය අවබෝධ වීම පිණිස කල්පනා කරනවා.
උපෙක්ඛා සම්බොජ්ඣංගය…
ඊළඟට මෙයා කල්පනා කරනවා මේ සමාධිය මනාකොට දියුණු කිරීමේදී, සමාධියත් එයා දකිනව නම් චතුරාර්ය සත්‍යය අවබෝධයේ මාර්ග අංගයක් හැටියට එයා සමාධියේ ඇලෙන්නේ නෑ. එයා සමාධිය අභිනන්දනය කරන්නෙ නෑ. සමාධිය සතුටින් පිළිගන්නවා වෙනුවට සමාධිය තුළ වෙනස් වන්නා වූ පංච උපාදානස්කන්ධයක් දකිනවා. එයා දකිනවා අනිත්‍ය වූ සමාධියක් එතන තියෙන්නේ කියල. අන්න එතකොට එයාගෙ හිත උපේක්ෂාවට පත්වෙනවා. එතකොට එයා ඒ උපේක්ෂාවත් ග්‍රහණය කරන්නෙ නෑ. උපේක්ෂාවට මුලා වෙන්නෙ නෑ. උපේක්ෂාවට රැවටෙන්නෙ නෑ. ඒ උපේක්ෂාව එයා දියුණු කරන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයක් විදිහටයි.
චතුරාර්ය සත්‍යය කියන්නේ මොකක්ද? දුක නැමති ආර්ය සත්‍යයක් තියෙනවා. ඒක අවබෝධ කළ යුතුයි. මේ දුක සකස් වෙන්නෙ ඒ දුකට ඇලෙන නිසා. දුකට ඇලීම දුක්ඛ සමුදය ආර්ය සත්‍යය. එතකොට මේ දුකට ඇලෙන ගතිය නැතිකරල දාන්න ඕනෙ. ඒකට කියනවා දුක්ඛ සමුදය ප්රහාණය කරනවා කියලා. ඒක ආර්ය සත්‍යයක්. මේ දුකට ඇලෙන ගතිය නැතිවුනා නම්, එයා දුකින් නිදහස්. ඒකට කියනවා දුක්ඛ නිරෝධය කියලා. දුකට ඇලෙන එක නිකං නැතිවෙන්නෙ නෑ. ඒකට දුක අවබෝධය වෙන්නට ඕනෙ. දුක අවබෝධ වීම පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන්නට ඕනෙ. ඒකට කියනව දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා කියලා.
මේ විදිහට චතුරාර්ය සත්‍යය අවබෝධයේ අංගයක් විදිහට උපේක්ෂාව වැඩෙන්නට ඕනෙ. එතකොට ඒක උපේක්ෂා සම්බොජ්ඣංගය.
දැන් පින්වතුනි, බොජ්ඣංග භාවනා කියල කියන්නේ චතුරාර්ය සත්‍යාවබෝධය ඉලක්ක වෙලා තියෙන කරුණු හත තමා තුළ දියුණු කර ගැනීම. ඒ හත තමයි සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. මේ බොජ්ඣංග ධර්මයන් හත මනා කොට තමා තුළ වර්ධනය වීමෙන් තමයි, තමන් නිකෙලෙස් භාවයට පත්වෙන්නේ. ඒ සඳහා සතර සතිපට්ඨානයේ සිහිය පිහිටන්නට ඕනෙමයි. සතර සතිපට්ඨානයේ සිහිය නොපිහිටා බොජ්ඣංග ධර්ම වැඩෙන්නේ නෑ.
එහෙනම් අපට පැහැදිලිව පේනවා බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය තුළ තියෙන්නේ අවබෝධය ඉලක්ක කරපු වැඩපිළිවෙලක්. දැන් ඔබට මේ ගැන සෑහෙන අවබෝධයක් තියෙනවා.
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි