4.1. සක්මන් භාවනාව
4.1. සක්මන් භාවනාව
දැන් ඔබ මේ වෙන කොට ආනාපානසති භාවනාව පිළිබඳවත්, හොඳ සිහි නුවණින් යුක්තව සෑම කටයුත්තක්ම කිරීම ගැනත් ඔබ ඉගෙන ගෙන තියෙනවා. ඊළඟට ඉගෙන ගන්නේ සක්මන් භාවනාව ගැන. සක්මන් භාවනාව විශේෂයෙන්ම ඔබ දැනගත යුතු එකක්. සක්මන් භාවනාව කියන්නේ ජීවිතයේ සිත දියුණු කිරීමට අතිශයින් ම වැදගත් වන එකක්. සමහර කෙනෙකුට සක්මනේදී තමයි ධර්ම කාරණා ගොඩක් අවබෝධ වෙන්නේ. සමහර විට සක්මන් කිරීමේදී අපට නීවරණ ධර්ම ඇතිවුණොත්, ඔබ ඒකට පසුබට වෙන්නෙ නැතිව, දිගටම සක්මන් කරන්න පුරුදු වෙන්න ඕනෙ.
නොපසුබස්නා වීර්යයක් තියෙන්න ඕනෙ…
බුදුරජාණන් වහන්සේගේ කාලෙ හොඳ සිදුවීමක් සිදුවුණා. එක ස්වාමීන් වහන්සේ නමක් භාවනා කළා. භාවනා කරද්දී උන්වහන්සේට හරි නිදිමතයි. නිදිමත තිබුණ කියල උත්සාහය අත්හැරියේ නෑ. දැන් අපට බොහෝ විට සිද්ධ වෙන්නෙ නිදිමත හැදුණාම ඒක කල්දානවා. බෑ කියනව. පස්සෙ කරනවා කියල අපි ඒක අත්හරිනවා. නමුත් මේ ස්වාමීන් වහන්සේ නිදිමත තියෙද්දි, අමාරුවෙන් අමාරුවෙන් සක්මන් කරන්න සක්මන් මළුවට ගොඩවුණා. සක්මන් භාවනාව කරගෙන යන කොට කොච්චර නිදිමතද කියන්නෙ, එහෙම්මම මේ ස්වාමීන් වහන්සේ සක්මන් මළුවෙ වැටුණා. සාමාන්‍ය කෙනෙකුට එහෙම වුණා නම්, එයා එතනම එක්කො නිදාගන්නවා. එක්කො ආපහු නැගිටල ගිහින් කුටියට ගිහින් නිදාගන්නව. ”මට නම් බෑ මේක කරන්න” කියල. අන්න බලන්න මේ වීරියක තියෙන වටිනාකම. මේ ස්වාමීන් වහන්සේ මොකද කළේ? නැගිට්ටා. වැලි පිසදැම්මා අතේ තිබිච්ච. හිතට ධෛර්ය ගත්තා. හොඳට සක්මන් කළා. ඉතින් උන්වහන්සේට පුළුවන් වුණා ඊළඟ මොහොතේ හිත එකඟ කරන්න.
හිත වේගයෙන් වෙනස් වෙනවා…
එතකොට බලන්න හිතේ ස්වභාවය මොකක්ද කියල. එක වෙලාවක නිදිමතෙන්, අලස බවෙන්, හිතෙන් පීඩා විඳපු හිතේ ස්වභාවය තමන් විසින් උපදවා ගත්තු වීරියෙන්, සිහියෙන් නැතිකරල දැම්ම. ඊට පස්සේ හොඳට සිත සකස් වුණා. මේකෙන් අපට පේනවා මේ හිතේ ස්වභාවය අපි හිතන ආකාරයට, ක්‍රියා කරන ආකාරයට හැදෙනව. එහෙම නම් සක්මන් කිරීමෙදි මේ ස්වභාවය එහෙම්ම ම යි.
අපි කියමු සක්මනේදි සිහියෙන් භාවනා කර කර හිටියා. දැන් ඔබ හොඳ සිහිකල්පනාවෙන් නැගිට්ටා. නැගිටල ඔබ සක්මන් කරල හිටගෙන වම දකුණ කිය කිය යන්න ඕනෙ නෑ. දැන් සමහරු කකුල ඔසවන කොට තබන කොට වම…. දකුණ…. වම….. දකුණ…. කියමින් යනවා. එහෙම නැත්නම් සමහරු ඔසවනවා…. ගෙනියනවා…. තබනවා…. කිය කිය යනවා. නමුත් එබඳු ආකාරයකට සිහි කරන්න කියල බුද්ධ දේශනාවක නෑ.
සක්මන් භාවනාව නිවැරදිව සිදුකරන හැටි…
බුදුරජාණන් වහන්සේ වදාළේ එහෙම නෙවෙයි. (ගච්ඡන්තෝ වා ගච්ඡාමීති පජානාති) ගමන් කරද්දි ගමන් කරනවා කියල හොඳට සිහිය උපද්දවා ගන්නවා. ඊළඟට වාඩිවෙලා ඉන්දැද්දී වාඩිවෙලා ඉන්නවා කියල දැනගන්නවා. හිටගෙන ඉන්දැද්දි හිටගෙන ඉන්නවා කියල දැනගන්නවා. හාන්සි වෙලා ඉන්දැද්දි හාන්සිවෙලා ඉන්නවා කියල දැනගන්නවා. එතකොට මේ සෑම ඉරියව්වක්ම මනා කොට දැනගන්නවා. මේ මනා කොට දැනගන්න එක එහෙම නම් සක්මනට විතරක් අදාල එකක් නෙවෙයි.
ඊළඟ එක තමයි යම් කිසි විදිහකට වම… දකුණ… කියල සිහිකරගෙන ගියොත්, බාහිර අරමුණක් නම් එන්න නොදී සිහිය පිහිටුවා ගන්න පුළුවන්කමක් නම් තියෙනවා තමයි. ඒ වුණාට අපට අදාළ වෙන්නේ අපේ ශාස්තෘන් වහන්සේ වදාළ දේ. බුදුරජාණන් වහන්සේ පැහැදිලිව පෙන්වා වදාළා මේ කයේ සිහිය පිහිටුවා ගැනීම තමන් ගමන් කරන බව මනාකොට සිහිකරගන්ට ඕනෙ. ගමන් කරන බව මනා කොට සිහිකරගෙන ගමන් කරන්ට ඕනෙ. එතකොට පය ඔසවද්දි, පය ගෙනියද්දි, පය තබද්දි ඔසවනවා… ගෙනියනවා…. තබනවා කියල සිහි කළ යුතු නෑ. තමන් සිහියෙන් ඉන්න ඕනෙ තමන්ගේ ශරීරෙ ඉරියව්ව මේ විදිහට පවත්වනවා කියල. අන්න ඒකයි වැදගත් වෙන්නෙ.
ඉරියව් ශාන්ත භාවයට පත්වෙනවා…
එකතැනකදි පාරාසරිය කියන රහතන් වහන්සේ වදාළා, මේ විදිහට ඉරියව් පවත්වන කොට සතිපට්ඨානයේ මනා කොට සිහිය පිහිටියාට පස්සේ, ඉරියව් හරි ලස්සනයි කියල සිනිදු තෙල් දහරාවක් වගේ කියල. ඒ කියන්නේ බොහොම ශාන්ත, සංයමයට පත්වෙච්ච කායික ඉරියව් සමූහයක් එයාගේ ජීවිතය තුළ සකස් වෙනවා. ඒකයි සිනිදු තෙල් දහරාවක් වගේ කියල පෙන්නල තියෙන්නෙ.
අන්න ඒ විදිහට සක්මන් භාවනාවේදීත් (අපි හිතමු ඔන්න එයා දැන් හිටගත්තා) එයා යම්කිසි තැනක් තීරණය කරනවා මම අතනට යන කම් හොඳ සිහියෙන් යනවා. හිටගෙන මුළු ශරීරයටම සිහිය යොමු කරගෙන, පාදය ඔසවන කොට හොඳට සිහියෙන් ඔසවල, හොඳට සිිහියෙන් තබනවා. වම් පාදයත් එහෙම තබනවා, දකුණු පාදයත් එහෙම තබනවා. හැබැයි එයා සිහිකරන්නෙ වම දකුණ කියල නෙවෙයි. ඔසවනවා තබනවා කියල නෙවෙයි. සිහියෙන්. මේකට වචන සිහිකරන්න ඕනෙ නෑ. සිහියෙන් කරන්න පුළුවනි.
එදිනෙදා ජීවිතයට සක්මන් භාවනාව…
දැන් අපි කියමු ඔබ ගමනක් ගිහින් ගෙදර එනවා. ඔබ පයින් ඇවිදගෙන එනවා නම් ඔබට පුළුවනි මේක සක්මන් භාවනාව බවට පත්කරන්න. එතකොට ඔබ එ් වෙලාවට අකුසල් සිතන්නෙ නෑ. ඔබ හොඳට සිහිය පිහිටුවාගෙන ඉන්නෙ. ඔබේ සිහිය කොයිතරම් හොඳට පිහිටනවද කියන්නෙ, එතකොට ඔබ එ් තුළ සිහිය පිහිටුවාගෙන වඩන්න පටන් ගන්නවා. එ් නිසා මේ භාවනාව තුළ හොඳට සිහිය පිහිටුවන්න පුළුවන්කම තියෙනවා.
දැන් සක්මන් භාවනාවෙදි, ඒ විදිහට සක්මන් කරල එක තැනකදි නවතිනවා. නැවතුණාට පස්සේ අන්න එතනදි ඔබ දැනගන්නවා නැවතුන බව. දැනගෙන ඔබ ආපසු හැරෙනවා. හැරිල ආපහු එනවා. එනකොට ඔබ ආයෙමත් සක්මනේ තමයි පැමිණෙන්නෙ. පැමිණිලා ආයෙ නවතිනවා. නවතින කොට ඔබ ආයෙ දන්නවා නැවතිච්ච බව. දැන් ඊළඟට ඔබ ආපහු හැරෙනවා. හැරිල ආපහු සක්මනේ ගමන් කරනවා.
බොහෝ වේලාවක් පැවැත්විය හැකි සමාධියක්….
බුදුරජාණන් වහන්සේ වදාළා අපට සක්මන් භාවනාවේදී සිත එකඟ කරගන්ට කෙනෙක් දක්ෂ වුනොත්, සක්මන් භාවනාවේදී සිත එකඟ කරගැනීම නිසා ඒ සමාධිය (සක්මනේදි ඇතිකරගන්න සමාධිය) බොහෝ වේලාවක් පවත්වන්න පුළුවන් කියල. එහෙම නම් අපට පේනවා යම් කිසි කෙනෙකුට සමාධිය වඩන්න දුෂ්කරතාවයක් තියෙනව නම්, සමාධිය දියුණු කරගන්න යම්කිසි ප්‍රමාදයක් තියෙනවා නම්, අන්න ඒ කෙනා තවදුරටත් එයාගේ භාවනාවට සක්මන් භාවනාව තෝර ගන්නට ඕනෙ.
ඔබේ නිවසටත් සක්මන් මළුවක්….
නිවසක නම් ඔබට පුළුවනි ඉඩකඩ තියෙන තැනක් තෝරගන්න. ඔබට ඕනෙ නම්, කැමති නම් තමන් ගේම නිවසේ සක්මන් මළුවක් හදාගන්න පුළුවනි. අඩි දෙකහමාරක් තුනක් විතර පළලට අඩි තිහක් තිස්පහක් දිගට හොඳට සිනිඳු වැලි දාල, සක්මන් මළුවක් ඔබට අවශ්‍ය නම් හදාගන්න පුළුවනි. මම හිතනවා ඒක සෑම බෞද්ධ නිවසකටම ලස්සන දෙයක්. සක්මන් මළුවක් හදාගත්තොත් ලස්සනට සක්මන් කරන්න පුළුවන්කම තියෙනවා දවල් කාලෙ. එහෙම නැත්නම් වැස්ස පින්න නැති කාලෙට. එහෙම නැත්නම් තමන්ගෙ නිවසෙම තමන්ට පුළුවන් ඉඩක් තෝරාගෙන මෙන්න මේ කොටසෙ මම සක්මන් කරනවා කියල සක්මන් භාවනාවට පිළිවෙලක් හරිගස්ස ගන්න. අන්න එතකොට ඔබට පුළුවනි තමන්ගෙ ජීවිතයේදී ඉරියව්වලට හොඳට සිහිය පිහිටුවා ගැනීමේ හැකියාව ඇතිකර ගන්නට.
සිහිය පවත්වන නිසා අකුසල් නැහැ….
මේ විදිහට ඔබ සක්මන් භාවනාව පුරුදු කිරීමේ වාසි ගොඩක් තියෙනවා. දැන් ඔබ දන්නෙ නැතිවුණාට ඔබ ගමන් කරන කොට, ඔබේ සිතට බොහෝ අකුසල් ඇතිවෙනවා ඔබ සිහියෙන් තොරව යන නිසා. ඔබේ සිත ගොඩක් නොමග යනවා ඔබ සිහියෙන් තොරව ගමන් බිමන් කරන නිසා. ඔබ සිහියෙන් තොරව වාඩිවෙලා ඉන්න නිසා. ඔබ සිහියෙන් තොරව නිදාගන්න නිසා. ඔබ සිහියෙන් තොරව ඉරියව් පවත්වන නිසා. ඔබේ හිත බොහොම නොමඟ යනවා. ඔබ දන්නෙ නෑ සිත නොමඟ ගිය බව. ඒ ඔබ සිහිය පවත්වන්නෙ නැති නිසා. නමුත් ඔබ සිහිය පවත්වන්න පුරුදුවුණාම අන්න ඔබට සෑම ඉරියව්වකම එ්ක කරන්න පුළුවන් වෙන්න ඕනෙ. දැන් බලමු මේ සක්මනේ තියෙන වටිනාකම.
ආනන්ද ස්වාමීන් වහන්සේ අරහත් වුන හැටි….
දැන් ඔබට මතක ඇති අපගේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරපු ශ්‍රාවකයන් වහන්සේ. අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන කොට සෝතාපන්න වෙලා හිටියේ. ඉතින් ධර්ම සංගායනාවට කලින් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ආනන්ද හාමුදුරුවන්ට රහතන් වහන්සේ නමක් හැටියටයි මේ ධර්ම සංගායනාවට සහභාගී වෙන්න තිබුණේ.
ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ මොකද කළේ? කායානුපස්සනා භාවනාව සක්මනේ යෙදුණා. සක්මන් භාවනාවේ යෙදිල ඒ සක්මන් භාවනාව තුළම, භාවනාව අත්හැරල නෙවෙයි, (මොකද සක්මන් භාවනාවට ඉරියව් හතර ම තියෙනවනෙ) සක්මනේම වැඩම කරල සැතපෙන්න හිතාගෙන උන්වහන්සේ වැඩසිටිය ඇඳේ වාඩිවෙලා, කකුල් දෙක ඇඳෙන් උඩට ඔසවල තබන කොටම තමන්ගේ හිස කොට්ටයේ තබල නැතිව තිබියදී උන්වහන්සේගේ හිත නිකෙලෙස් වුණා කියල ධර්මයේ සඳහන් වෙනවා. ඒ කියන්නේ එක ඉරියව්වකිනුත් තොරව. නමුත් ඒ ඉරියව් වලින් තොර වුණාට උන්වහන්සේ හිටියෙ භාවනාවේ. එතකොට බලන්න සක්මන් භාවනාවේ යෙදීමේ දියුණුව කොච්චර ප්‍රයෝජනවත් වුණාද? මේ නිසා ඔබට පුළුවනි සක්මන් භාවනාව හොඳට දියුණු කරගන්න. ඒ නිසා ඒ විදිහට සක්මන් භාවනාව දියුණු කරගෙන ඔබේ ජීවිතයට ආලෝකය උදාකර ගන්න අවස්ථාව තියෙනවා.