පංච නීවරණ පිළිබඳ භාවනාව

10.1. පංච නීවරණ

බුදුරජාණන් වහන්සේ දැකගැනීම…

දැන් ඔබ බුදුරජාණන් වහන්සේ වදාළ ශ‍්‍රී සද්ධර්මය ගැන පැහැදීමක් ඇති කරගන්න ඕනෙ කරුණු ටික ටික දන්නවා. බුදුරජාණන් වහන්සේව අඳුන ගන්නට තියෙන්නේ බුද්ධ ප‍්‍රතිමාවකින් නෙවෙයි. බුදුරජාණන් වහන්සේව අඳුන ගන්නට තියෙන්නේ පින්තූර වලිනුත් නෙවෙයි. බුදුරජාණන් වහන්සේව අඳුනගන්නට තියෙන්නේ ශ‍්‍රී සද්ධර්මයෙන් ම යි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් සමන්විත ඒ සුන්දර බුදු සිරුර දිහා බලාගෙන හිටපු වක්කලී ස්වාමීන් වහන්සේට බුදු රජාණන් වහන්සේ වදාළේ ”පින්වත් වක්කලී මොනවටද මේ කුණු ශරීරය දිහා බලන්නෙ. ඔබ ධර්මය දිහා බලන්න. එතකොට ඔබට බුදුරජාණන් වහන්සේව පෙනේවි” කියල. එහෙම නම් අපට පැහැදිලිව පේනවා ධර්මය දිහා බැලීමෙන්මයි අපට බුදුරජාණන් වහන්සේව දකින්න පුළුවන් වෙන්නෙ.

යම් හෙයකින් ප‍්‍රතිමාවක් තුළින් බුදුරජාණන් වහන්සේව දැකගන්න පුළුවන් නම් ඉස්සෙල්ලාම ඒ ප‍්‍රතිමා නිර්මාණය කරන්නේ රහතන් වහන්සේලා විසින්. එහෙම නම් බුදුරජාණන් වහන්සේගේ කාලෙ හිටපු රහතන් වහන්සේලා ප‍්‍රථම ධර්ම සංඝායනාව කරන්නත් කලින්ම තීරණය කරනවා, බුදු රජාණන් වහන්සේව අනිත් අයට දැකගන්නට බුද්ධ ප‍්‍රතිමා නිර්මාණය කරන්නට ඕනෙ කියල. නමුත් උන්වහන්සේලා නියම දේ කළා. උන්වහන්සේලා ශ‍්‍රී සද්ධර්මය ආරක්ෂා කළා. සංඝායනා කළා. සංඝායනා කරනවා කියන්නේ සමූහයක් එකතුවෙලා ගායනා කරනවා නෙවෙයි. සංඝායනා කරනවා කියල කියන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ක‍්‍රමාණුකූලව සකස් කරනවා. ඒ නිසා රහතන් වහන්සේලා අතින් ලැබිච්ච දෙයක් තමයි අපේ අතට ලැබිල තියෙන්නේ.

සතර සතිපට්ඨානය තුළ තවදුරටත් විමසමු….

මේ බුදුරජාණන් වහන්සේ වදාළ ශ‍්‍රී සද්ධර්මයේ සතර සතිපට්ඨානයේ මුල් සතිපට්ඨාන භාවනාවන් තමයි අපි මෙතෙක් ඉගෙන ගත්තේ. දැන් ඔබ සෑහෙන විස්තරයක් සතිපට්ඨාන සූත‍්‍රය ගැන දන්නවා. මේ වන විට ඔබ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ගැන මොනතරම් දැනුමක් ලබාගෙන තියෙනවාද කියන කරුණ ඔබටම දැන් තේරෙනවා ඇති. මේක දුර්ලභ දැනුමක්.

දැන් අපිට ඕනෙ කරන්නේ කොලේ වහලා කතා කිරිල්ලක් නෙවෙයි. අපට ඕනෙ කරන්නේ මේ ජීවිතය ගැන ඇත්තම කතා කරන්නයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට මේ ජීවිතය කියන්නේ අදින් අවසන් වෙන එකක් නෙවෙයි. කෙලවරක් නැති භව ගමනක පැටලිච්ච එකක්. කෙනෙක් සතර අපායේ වැටි වැටී තමයි මේ සංසාර ගමන යන්නේ. එබඳු ගමනක් යන කෙනෙකුට ඉතාම කලාතුරකින් තමයි බුදුරජාණන් වහන්සේ නමක් වදාළ ධර්මය ලැබෙන්නෙ. එතකොට ඒ කෙරෙහි පහදින්න මයි ඕනෙ. ප‍්‍රසාදය ඇති කරගන්නටමයි ඕනෙ. කාටවත් සොලවන්ට බැරි ප‍්‍රසාදයක් ඇති කරගන්නට ඕනෙ.

සැබෑම කළ්‍යාණ මිත‍්‍රයා හඳුනාගන්න…

ඉතින් ඒ නිසා මේ දුර්ලභ අවස්ථාව ඔබ මගහරින්න එපා. ඔබ මතක තියාගන්න ඔබ කළ්‍යාණ මිත‍්‍රයෙක් ඇසුරු කරනව නම්, ඒ කළ්‍යාණ මිත‍්‍රයා ශ‍්‍රී සද්ධර්මය විකෘතියක් කරන්නේ නැතිව, ඒ විදිහටම, තමන්ගේ අතින් කෑලි දාන්නේ නැතිව, තමන්ගේ විග‍්‍රහයන් නැතිව, ඇත්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ම ප‍්‍රකාශ කරන කෙනෙක් විය යුතුයි. එහෙම නැතිව එක එක මත කියනවා නම් ඒ කෙනා කළ්‍යාණ මිත‍්‍රයෙක් හැටියට සළකන්න බෑ.

ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය මනා කොට සිහි කරනවා නම්, දවසක් උපාලි මහරහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේ වදාළා ”පින්වත් උපාලි, යම් ධර්මයක් ශ‍්‍රවණය කරන කොට, ඒ ධර්මය තුළ නොඇලීම ගැන කතා කරනව නම්, යම් ධර්මයක් ශ‍්‍රවණය කරන කොට, ඒ ධර්මය තුළ විරාගී බව ගැන කතා කරනවා නම්, යම් ධර්මයක් ශ‍්‍රවණය කරන කොට, ඒ ධර්මය තුළ ඇල්ම නැති කරගැනීම ගැන කතා කරනවා නම්, යම් ධර්මයක් කතා කරන කොට, ඒ ධර්මය තුළ දුකෙන් නිදහස් වීම ගැන කතා කරනවා නම්, පින්වත් උපාලි, ඔබ තේරුම් ගන්න ඒ තථාගත ධර්මයයි. යම් ධර්මයක් කතා කරන කොට, ඒ ධර්මය තුළ ඇලීම නිරුද්ධ වෙන්නෙ නැත්නම්, දුකෙන් නිදහස් වීමක් ගැන, නිවනක් ගැන කතා කරන්නෙ නැත්නම්, පින්වත් උපාලි, ඔබ තේරුම් ගන්න ඒ තථාගත ධර්මය නෙවෙයි.”

එහෙම නම් අපි පැහැදිලිව තේරුම් ගන්නට ඕනෙ සංසාරෙන් නිදහස් කරවන ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය. සංසාරයේ පටලව පටලව යන එකක් නෙවෙයි.

කාමච්ඡන්ද නීවරණය….

දැන් ඔබ සතිපට්ඨාන සූත‍්‍රයේ අවසාන කොටස ඉගෙන ගනිමින් සිටින්නේ. ඒක පටන්ගන්නේ පංච නීවරණ පැහැදිලි කිරීම තුළින්. බුදුරජාණන් වහන්සේ වදාළා ඒ කෙනා හොඳට සිහිය පිහිටුවා ගන්නට ඕනෙ, පංච නීවරණ ගැන. තමන් තුළ කාමච්ඡුන්දය ඇති වෙලා තියෙනවා නම් දැන් තමන් තුළ කාමච්ඡුන්දය තියෙනවා කියල සිහිය පිහිටුවා ගන්නට ඕනෙ. සිහිය පිහිටුවා ගන්නෙ කාමච්ඡුන්දය පවත්වන්න නොවෙයි. කාමාසාවක්… කාමාසාවක්…. කිය කියා හිතන්නට නොවෙයි. මේ කාමච්ඡුන්දය ඇතිවෙන්නේ සුභ නිමිත්තයි, අයෝනිසෝ මනසිකාරයයි නිසා. මම යෝනිසෝ මනසිකාරයේ පිහිටල සුභ නිමිත්ත බැහැර කරනවා කියල, අන්න ධර්මයේ පිහිටන්න පටන් ගන්නවා ධම්මානුපස්සනාව වඩන කෙනා. තමන් තුළ නැතිවන්නා වූ කාමච්ඡුන්දය තමන් තුළ නැත කියල අවබෝධ කරගන්නව.

ව්‍යාපාද නීවරණය….

ඒ වගේම හිතකට ඇතිවෙනවා ව්‍යාපාදය. ව්‍යාපාදය කියන්නේ තරහ. තරහ ඇතිවුණාම ඒ කෙනා නුවණින් බලනවා තමන්ගේ සිත දිහා. දැන් ඔන්න මා තුළ තරහ ඇතිවුණා. තරහක්… තරහක්…. කියල සිහි කිරීම නෙවෙයි එතන කරන්න තියෙන්නේ. එතනදි කරන්න තියෙන්නේ මේ තරහ ඇතිවුණේ පටිඝ නිමිත්තයි අයෝනිසෝ මනසිකාරයයි නිසා. ඒ නිසා යෝනිසෝ මනසිකාරයෙන් පටිඝ නිමිත්ත බැහැර කරලා මෙත්තා චේතෝ විමුක්තියේ සිත පිහිටුවනවා කියල හිතනවා. පටිඝ නිමිත්ත කිව්වේ තරහ යන්න හේතුවෙච්ච කාරණාව. තරහ යන්න හේතු වෙච්ච කාරණාව බැහැර කරල ඒ කෙනා මෙත් සිත ඇති කරගන්නවා යෝනිසෝ මනසිකාරයෙන්. අන්න එතකොට තේරුම් ගන්නව තමා තුළ තිබුණා නම් ව්‍යාපාද නීවරණයක්, මේ ව්‍යාපාද නීවරණය දැන් නැත කියල තමා තුළින්ම ඒක වෙනස් වෙච්ච ආකාරය දැකගන්නවා.

ථීනමිද්ධ නීවරණය….

ඊළඟට පින්වතුනි, එයා බලනවා මේ නිදිමත, අලස බව, කම්මැලිකම, ධර්මයේ හැසිරෙන්න තියෙන අකමැත්ත, අරතිය මේවා ඇතිවෙන කොට එයා දැනගන්නවා දැන් තමන් තුළ ථීනමිද්ධය ඇතිවෙලා. මේ ථීනමිද්ධය ඇතිවෙන කොට එයා දැනගන්නවා මේ ථීනමිද්ධය ඇතිවෙන්නෙ අයෝනිසෝ මනසිකාරයෙන් සහ ප‍්‍රමාදයෙන්. මේ කෙනා කල්පනා කරනව මම මේ ථීනමිද්ධය බැහැර කරන්නට ඕනෙ. මම මේ ථීනමිද්ධය දුරු කරන්නට ඕනෙ. මම මේ ථීනමිද්ධය නැතිකරන්නට ඕනෙ. මේ කෙනා මොකද කරන්නේ ථීනමිද්ධය බැහැර කරනවා. ථීනමිද්ධය බැහැර කරන්නේ යෝනිසෝ මනසිකාරයේ පිහිටල තමන්ගේ සිහිය මනාකොට හසුරුවන්න පටන් ගන්නවා. යෝනිසෝ මනසිකාරයේ ඉඳල සිහිය මනාකොට හසුරුවන්න පටන් ගන්නේ තමන්ගේ ජීවිතය තුළින්. එයා සිහිය හසුරුවන්නේ දැන් මැරෙන්න පුළුවනි. අද මැරෙයිද දන්නෙ නෑ. අද අනතුරක් වෙයිද දන්නෙ නෑ. කරදරයක් වෙයිද දන්නෙ නෑ. ජීවිතයට මොන විපතක් වෙයිද දන්නෙ නෑ. එහෙමනම් ඊට කලින් මම මේ ධර්මයේ හැසිරෙන්න ඕනෙ කියල මනා කොට සිහිය පිහිටුවාගෙන සිහියෙම යෙදෙනවා. මේ විදිහට මෙයා ථීනමිද්ධ නීවරණය බැහැර කරලා, නිදිමත අලස බවින් තොරව තමන්ගේ ජීවිතය හසුරුවනවා මහත් වීරියකින් යුක්තව.

උද්ධච්ච – කුක්කුච්ච නීවරණය….

ඒ කෙනා ථීනමිද්ධය බැහැර කරලා ඊළඟට බලනවා තමන්ට සැකයක්, විපිළිසර බවක්, සිතේ විසිරීමක්, පසුතැවිල්ලක් තියෙනවද කියල. බලද්දි මේ කෙනා තේරුම් ගන්නවා දැන් මා තුළ තියෙනවා. අන්න එතකොට එයා තේරුම් ගන්නවා මා තුළ මේක ඇතිවෙලා තියෙන්නේ අයෝනිසෝ මනසිකාරයෙන් මිසක් යෝනිසෝ මනසිකාරයෙන් නෙවෙයි කියල. දැන් එයා තමන්ට අතීතය අරභයා පසුතැවෙන කාරණා, තමන්ගේ නොදැනුවත්කම් අරභයා තමන්ට ඇතිවෙලා තියෙනවා නම් යම් යම් පසුතැවෙන කාරණා ඒවා නුවණින් සලක සලකා සිතෙන් බැහැර කරනවා. මේවා අනිත්‍යයයි. මම මේවා සිහිකරලා වැඩක් නෑ. ඒ ගිය දේවල් ගියා. දැන් මම අලූත් කෙනෙක්. මම ධර්මයට පැමිණිච්ච කෙනෙක්. මම හිත හදාගෙන යන කෙනෙක්. ඒ නිසා මේ ධර්ම මාර්ගය දියුණු කරන්නට බාධාවක් මම මේවා හිතේ තියාගෙන ඉන්න එක කියල, එයා අතීතයේ ශෝක කර කර සිටීම සිතෙන් බැහැර කරනවා. බැහැර කරලා සිත විසිරෙන කොට මෙයා සිතනවා මේ සිත විසිරෙන්නෙ අයෝනිසෝ මනසිකාරය නිසා. මේ අයෝනිසෝ මනසිකාරය බැහැර කරලා අධික වීරිය වෙනුවට හිතේ විමසීමෙන් යුක්තව, තවදුරටත් ඉවසීමෙන් සිහිය පිහිටුවනවා. අන්න එතකොට ටික ටික තමන්ගේ හිතේ විසිරීම අඩුකරලා දාන්න පුළුවන්කම ඇතිවෙනවා.
විචිකිච්ඡා නීවරණය….

ඊළඟට ඒ කෙනාට සැකයක් ඇතිවෙනවා මේ ධර්මය සම්බන්දව. මම මේ කරන භාවනාව හරිද? මම මේ කරන ක‍්‍රමය හරිද? මට මේ විදිහට සිත දියුණු කරන්න පුළුවන් වෙයිද? මට ප‍්‍රතිඵල ගන්න පුළුවන් වෙයිද? එහෙම හිතන්න හිතන්න එයා තුළ ඇතිවෙනවා සැකයක්. සැකය ඇතිවෙන්න ඇතිවෙන්න ධර්මයේ හැසිරීම තුළ සිත පිහිටන්නෙ නැතිව යනවා. වෙන වෙන බාහිර දේවල් කෙරෙහි, වැඩකට නැති දේවල් කෙරෙහි සිත පිහිටනවා. මේක සිදුවෙනවා සැකය නිසා. සැක නැතිවීම පිණිස ධර්මය පිළිබඳව මනා අවබෝධයක් ඇති කරගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කරගැනීමට උන්වහන්සේ වදාළේ (කථං කථි ඤායපථාය සික්ඛේ) නිතර නිතර මේක කොහොමද? අරක කොහොමද? කියල සැක හිතන කෙනා නුවණ ඇතිවෙන මාර්ගයක හික්මෙන්නට ඕනෙ. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ‍්‍රද්ධාව ඇති කරගන්නවා. පින්වතුනි, සැකයෙන් නිදහස් වෙන්න තියෙන්නේ ශ‍්‍රද්ධාව ඇති කරගැනීම ම යි.
බෞද්ධයන්ගේ ලොකුම ගැටලුව….

මට තේරෙන විදිහට ලාංකික බෞද්ධයන්ගේ තියෙන ලොකුම ගැටලූව තමයි ශ‍්‍රද්ධාව නැතිකම. පැවිදි පිරිස ගත්තත් ශ‍්‍රද්ධාවන්තයන් සොයාගන්නට අමාරුයි, ගිහි පිරිස ගත්තත් ශ‍්‍රද්ධාවන්තයන් සොයාගන්නට අමාරුයි. ශ‍්‍රද්ධාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය විශ්වාස කිරීම. උන්වහන්සේගේ අවබෝධය ගැන පැහැදී සිටීම. උන්වහන්සේගේ අවබෝධය කෙරෙහි පැහැදීම වෙනුවට බොහෝ දෙනෙක් කරන්නේ තම තමන්ගේ මත කිය කියා මේ ධර්මය අවබෝධයට තියෙන කාරණා වළක්වන එක. ඒක ශ‍්‍රද්ධාව නැතිකම තමයි හුවා දක්වන්නෙ.

ඉතින් ඒක නෙමෙයි අපට කරන්න තියෙන්නෙ. මේක බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය. මේක පුරුදු කරල බොහෝ දෙනෙක් සංසාරෙන් අතමිදුන. අනේ මටත් මේ ධර්මය උපකාරයි නේද කියල සිහිකර කර සිහිකර කර, ශ‍්‍රද්ධාවේ පිහිටල, සැක රහිතව මේ පංච නීවරණ ධර්මයන්ගෙන් හිත නිදහස් කරගන්නට ඕනෙ.

පංච නීවරණ පිළිබඳ භාවනාව තවදුරටත්…

මේ විදිහට කරගෙන යද්දි මෙයාට තේරෙනව බාහිර අයටත් මේ විදිහමයි මේ නීවරණ ධර්ම ක‍්‍රියාත්මක වෙන්නෙ. අභ්‍යන්තර ජීවිතයේත් මේ විදිහට ම යි තියෙන්නෙ කියල මේ වෙනස අඳුනගන්නවා. ඊටපස්සේ මේ ජීවිතය අවබෝධ කරගන්න ඒක උපකාර කරගන්නවා. එතකොට මෙයාට තේරෙනව හේතු නිසයි මේ පංච නීවරණ ඇතිවෙන්නෙ. හේතු නැතිවීමෙන් මේ පංච නීවරණ නැතිවෙනව. අන්න එතකොට පංච නීවරණයන්ගේ හටගැනීමත්, පංච නීවරණයන්ගේ නැතිවීමත් කියන දෙකම තේරුම් ගන්නට පුළුවන් කම ඇතිවෙනවා. ඒ නිසා ඒ පංච නීවරණ ඇතිවුණාම ඒවා මම කියල ගන්නෙ නෑ. මගේ කියල ගන්නෙ නෑ. මගේ ආත්මය කියල ගන්නෙ නෑ. හේතූන් නිසා හටගන්නා පංච නීවරණ හේතු නැතිවීමෙන් නැති වෙන ස්වභාවයෙන් යුක්තයි කියල අවබෝධ වීම නිසා ඒ කිසිවෙකට බැඳෙන්නෙ නැතිව යනවා කියල සිහිය උපදවා ගන්නවා. ඒ සිහියමයි නුවණ වැඩෙන්න, සිහිය වැඩෙන්න, වීරිය වැඩෙන්න උපකාර වෙන්නෙ.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි